ලෝ දනා ගලවන ලෙසා
ලෝ දනා ගලවන ලෙසා රුදු වේදනා විඳලා
පාපයේ බරිනා වෙලී දෙරනේ හැපී වැටිලා
ලේ ද දහදිය සිඳ හෙලා උස් ගොල්ගොතා නැගලා
ආ මගේ සමිදු සිටී කුරුසේ දුකින් පිරිලා
පුන ගැයුම:
ජීවනේ ගෙනදුන් සදා පා සෙනේ ලොවටා //
ජේසුනේ මගෙ ස්වාමිනේ කිම මේ වුණේ ඔබටා //
රන් කදා විලසේම සුදිලුණු සිරි ගතා පොඩිවී
පුන් සදා පරදා එදා දිසි සිරි වතා මැලවී
නන් ලෙසේ රස බස් දෙසූ සියුමැලි දෙතොල් කළුවී
දැන් කෙසේ නෙත් හැර බලමි කදුලෙන් දෙනෙත් නොතෙමී
රජුන්ගේ රජවූ තිලෝනා දෙව් පුතුන් මෙලෙදා
සොරුන්ගේ සොර දෙටු කියා වින්දා මහා නින්දා
සොරුන් දෙදෙනෙකු මැදට වී ඇණ ගැසී මා හින්දා
මරුම් කෑ සැටි අහෝ මා හද තවයි සෝ ගිනිදා
ලෝක පාලක දෙවි පුතා පියවා ගතී දෙනෙතා
ලෝකයේ ආලෝකයේ රැස් හැකුළුනේ නියතා
ලොවට සාමය දුන් එ.කුමරා කුරුසයේ නැසුනා
සකල ලෝකය අවමගුල් ඛෙර වයන හඩ ඇසුනා