← Hymns බොදුන් ගී

පෙම් කරන්න එකිනෙකාට

පුන ගැයුම:

පෙම් කරන්න එකිනෙකාට සුහද සොයුරු ප්‍රේමයෙන්
දිවි ගෙවන්න එකමුතු වී සමිදුන් තුළ සාමයෙන්

ඔබට වඩා අනුන් උතුම් කොට නිරතුරු සළකන්න
උඩගු නොවී අසල්වැසියනට බුහුමන් දක්වන්න
අලස නොවී සිතට දිරිය ගෙන කටයුතු සපුරන්න
සමිදු කෙරෙ බැතිය පෙරටු කොට සේවය සලසන්න

සැපතෙහිදී සිතෙන් උදම් නොව සතුටට පත්වන්න
විපතෙහිදී නොපසුබටව තව ඉවසිලිමත් වන්න
උදය හවා දෙවිදු යැදුම නම් අතපසු නොකරන්න
අසරණයන් පිහිට පතන විට පිළිසරණය වන්න

දුක් පීඩා කරන අය කෙරෙ සාමය පතුරන්න
ඔබට පවා වරද කරන විට නපුරක් නොකරන්න
සතුටු සිනා රැළි නැඟෙනා විට ඔබද සිනාසෙන්න
දුකට වැටී අනුන් පෙළෙන විට සැබවින් දුක්වන්න

සියලු දෙනා සමඟ සමගියේ අමරස විඳ ගන්න
පහන් සිතින් යහගුණ ඇතියන් ඇසුරට පත් වන්න
හැම විටදී හොඳ හැසිරිමෙන් ආදරශය දෙන්න
දැහැමි බවින් ඔබ හැම නපුරම යටපත් කරලන්න