දිනපතා උදාවන
පුන ගැයුම:
දිනපතා උදාවන හිරු කිරණින්
පෙති පිපී දිලෙන කුසුමන් විලසින්
යහ ගුණයෙන් පිබිදි සුවඳ දි
හැම සිත් සනසමු ළමා අපී
කැකුළු මලක ඇති අගය නොකිව හැක
තුවාල කළු ලප නොතිබේ නම්
පිපුණ මලෙන් වුව ඇතිවන පල කිම
ඒ මල හනිකට පරවේ නම්
කටු අතු අග වුව පිපි ලස්සන මල්
දකින දකින අය සිත් ගන්නේ
ජාතිය කුල මල සොයනු කුමට හොඳ
ගති ඇති ළමයින් බැබළෙන්නේ
ළමා සිරිත ගත සිත හා හොඳ නම
පව් කිළුටෙන් මැලවී යන්නේ
වරදෙහි නොබැඳී පිනට නැඹුරුවන
ළමයින් ලොවට උතුම් වන්නේ
දරදඩු බවකින් සිත දැඩි කරගෙන
නපුරු මඟට පා නොතබන්නේ
පිරිසිදු හදකින් පින්බර හිතෙකින්
ඔබ හැම නිරතුරු සැරසෙන්නේ