← Hymns දේව මෑණියන්ට ගී

සුවඳ සැවැන්දන

සුවඳ සැවැන්දන කුංකුම චන්දන ඈ හැම
සුවඳ නෙළා
කුරුදු කඩා ගෙන සුවඳ ලාටු ගෙන
මුසු කොට සුවඳ පළා

පට පිලි ඇතිරිලි දමමින් සුදු වැලි
කුඩු කළ කපුරු හළා
මුතුකුඩ ඇරගෙන ඔබ කැඳවා එමු
හඩවා මිහිරි නළා

හේවිසි ගැට ඛෙර උඩැක්කි ඩෝලැකි
මගුල් රබන් ගස්වා
ලක්දිව වෙරළම වටකොට පොඩි මැටි
පහන් පෙලක් දිස්වා

ඔබ සරසන්නට පොරි හා මුසු කොට
අහසින් තරු වස්වා
මංගල තාලෙට අපි ඔබ අන්දමු රන්කෙඳි
සළු මස්වා