ස්නානය ලැබූ අප ස්වාමිදරුවන්ගේ ප්‍රාර්ථනාව

ස්නානය ලැබූ අප ස්වාමිදරුවන්ගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
(අපට කරුණා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි

  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි

  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි

  • කාලය ඇතිවෙන්ටත් පෙර නිත්‍ය පිතාවන්ගෙන් ප්‍රඥාවෙන් ජනිත වුනාවූ ජේසුනි

  • ස්ප්‍රීතු සාන්තු දෙව් පියාණන්ගේ ප්‍රේමයෙන් නික්මෙන්ට මහෝපකාර වන්නාවූ ජේසුනි

  • පිතා හා ස්ප්‍රිතු සාන්තු වහන්සේ සමග නිත්‍ය කල්හි මහත් තේජසින් වැජඹෙන්නාවූ ජේසුනි

  • දෙවි පියාණන්ගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට ඔබ තුමන් මගින් ලෝකය මැවීමට කරුණා අභිප්‍රාය කළාවූ ජේසුනි

  • දෙවි පියාණන්ගේ අප්‍රමාණ ඥානයට එකඟව ලොව ගැලවුම්කාරයාණන් වශයෙන් ඔබ තුමන්වම තෝරාගනු ලැබුවාවූ ජේසුනි

  • මනුෂ්‍ය ජාතියේ පාපවලට වන්දි ගෙවීමට මැදහත් වෙන්නට ඔබගේ සතුට ප්‍රකාශ කළාවූ ජේසුනි

  • මිනිසුන් ගලවාගැනීමටත් ඔවුන්ට දහම් මඟ පෙන්වීමටත් මනුෂ්‍යය ශරීරයක් රැගෙන සුරලොවින් නරලොවට ඒමට කරුණා අභිප්‍රාය කළාවූ ජේසුනි

  • පිරිසිදු කන්‍යා මරිය වහන්සේගේ ගර්භයෙහි ස්ප්‍රීත්තු සාන්තු වහන්සේ මගින් පිළිසිඳුනාවූ ජේසුනි

  • අපට දිළිඳුකමත් බැහැපත්කමත් උගන්වනු පිණිස බෙත්ලෙහෙම් නුවර ගවසැලෙහි ඉතා දිළිඳු බැහැපත් අන්දමින් කුඩා දරුවකු ලෙස මෙලොව බිහිවුනාවූ ජේසුනි

  • අපට දේවනීතිය පිළිපදින්නට ඉගැන්වීමට චර්ම ඡේදනයේ පිළිවෙතට පවා යටත් වෙමින් බොලඳ වියෙහිම ශ්‍රී ලේ වැගුරුවාවූ ජේසුනි

  • අපට කීකරුකම ඉගැන්වීම පිණිස බාල වියෙහි පටන් සිය දෙගුරුන්ට කීකරුව දේව වරප්‍රසාදයෙන්ද ප්‍රඥාවෙන්ද දියුණු වුනාවූ ජේසුනි

  • ඔබ වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය පටන් ගැනීමට පෙර යාච්ඤාවෙන්ද නිරාහාරයෙන්ද සූදානම් වෙමින් අපට යහපත් ආදර්ශයක් දුන්නාවූ ජේසුනි

  • අපවිත්‍රවූ මනුෂ්‍යයන්ට පවිත්‍රවෙන්ට දුන්නාවූ ස්නානය ස්නාවක ජුවාම් තුමා අතින් ලබාගත්තාවූ ජේසුනි

  • ඔබවහන්සේ වැඩම කරනවා දැක මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පව් දුරලන තැනැත්තාය කියා ස්නාවක ජුවාම් තුමා විසින් ප්‍රකාශ කරනු ලැබුවාවූ ජේසුනි

  • ස්නාවක ජුවාම් තුමා ඔබ ස්නානය දුන් අවස්ථාවේදී පරවියකු විලාශයෙන් දේවාත්මයාණන් පැමිණ ඔබමත වැඩ සිටිමේ භාග්‍ය ලැබුවාවූ ජේසුනි

  • එවිට දෙව්පියාණන් වහන්සේ මේ මාගේ ප්‍රේමවන්ත කුමාරයාණෝ මුන් වහන්සේ කෙරෙහි මම බෙහෙවින් ප්‍රසන්නය. මුන්වහන්සේට සවන් දෙන්න යැයි පවසමින් ජන සමූහයාට ඔබව හඳුන්වා දෙනු ලැබුවාවූ ජේසුනි

  • අපටද දේවෝත්මයාණන්ගෙන් හා ජලයෙන් උපත ලබනතෙක් ස්වර්ග රාජ්‍යයට ඇතුලුවන්නට පුළුවන් බව වදාළවූ ජේසුනි

  • ප්‍රසාද ස්නානය නමැති සක්‍රමේන්තුවෙන් ලබන ඉෂ්ඨවරප්‍රසාදය නිසා අප ආත්මවලට ස්ප්‍රීත්තු සාන්තු වහන්සේගේ මන්දිර වීමේ භාග්‍ය ලබා දුන්නාවූ ජේසුනි

  • ප්‍රසාද ස්නානය නමැති සක්‍රමේන්තුව මගින් අප ගැලවීමත් දේව ජිවිතයත් ස්වර්ග රාජ්‍යයට උරුමයත් දෙවා වදාළාවූ ජේසුනි

  • ජලයෙන් හා දේවාත්මයාණන්ගෙන් නව ජීවනයක් ලබා සිටින අපගේ විශ්වාසය අප දිව්‍ය ගැලවුම්කාරයාණන් වන ඔබ වහන්සේ කෙරෙහි වැඩි වර්ධනය වන පිණිස

  • දේව ජනතාව වන අපගේ බලාපොරොත්තුව වන ජේසුනි ඔබ කෙරෙහි ස්ථිරවී අප මරණ මොහොතේදී අප ස්වර්ග රාජ්‍යයට අරගන්නා පිණිස

  • අපගේ ප්‍රේමය එකම දෙවියන් වහන්සේ කෙරෙහිද අප අසල්වැසියන් කෙරෙහිද දිනෙන් දින වර්ධනය වන පිණිස

  • දේව දරුවන් වන අප ඊර්ෂ්‍ය, ක්‍රෝධ, පළිගැනීම යනාදියෙන් මිදී සාමයෙන් මෙලොව ජීවත්ව අනන්ත ජීවිතය ලබා ගැනීමට සූදානම් වන පිණිස

  • සාගත යුධ වසංගත රෝග ආදියෙන් මිදී මෙලොව අප යුතුකම් හරියාකාරව ඉටුකොට ස්වර්ග රාජ්‍යයට ඇතුළුවීමට වස්තු සම්භාරයක් ලබා ගන්නා පිණිස

  • අපගේ භූමිය ආශිර්වාද කොට සරුසාර බෝග පලදරන්නට සලස්වන පිණිස

  • මහ සාගරයෙන් අපට අවශ්‍යය මසුන් ලැබී එහි යාත්‍රාකරන විට රළපතරින් හා චණ්ඩ මේඝ ගර්ජන මාරුතයෙන්ද ගහන ගර්ජන වලින් හා විදුලි අකුණු කෙටිමෙන්ද ආරක්ෂා කර වදාරණ පිණිස

  • එලිසේවුස් දිවස්ප්‍රසාදිවරයාගේ කාලයේ නාමන් නැමැත්තා හත්වරක් විශ්වාසයෙන් ජෝර්දාන් නදියට බැස කුෂ්ඨයෙන් පවිත්‍ර වූවාක් මෙන් අපද සක්‍රමේන්තු හත බැගින් ලැබ පාපයෙන් පවිත්‍ර වී දිව්‍ය රාජ්‍යයට ඇතුළු වන පිණිස

  • පාපය නිසා ජලගැල්මෙන් විනාශකල මෙම ලෝකය අප ස්වාමිදරුවන්ගේ ස්නානය මගින් පවිත්‍රකරනු ලැබූ ජලය මගින් අපට ගැලවීමේ ද්වාරය විවෘත කර දෙන පිණිස

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට කරුණා කළ මැනව

  • ප - ඔබ වහන්සේ ජලයෙන් හා ස්ප්‍රිතු සාන්තු වහන්සේගේ මාර්ගයෙන් අපට ගැලවීමේ මාර්ගය විවෘත කළ සේක
  • උ - එයින් අපට ස්වර්ගයට උරුමය ලැබුණේය

 

යාච්ඤා කරම්භ සර්වබලධාරීවූ සදාකාලිකවූ දෙවියන් වහන්ස ඔබ වහන්සේ ක්‍රිස්තුතුමන් ජෝර්දාන් නදියේ ස්නානය ලැබීමෙන්ද එතුමන් මත ස්ප්‍රීතු සාන්තු වහන්සේගේ පැමිණීමෙන්ද ඔබ ප්‍රිය පුත්‍රයාණන් බවට ගාම්භිර ලෙස ප්‍රකාශ කළ සේක. ජලයෙන් හා ස්ප්‍රීතු සාන්තු වහන්සේගෙන් නව ජීවිනය ලබා ඔබගේ දරුවන් බවට කුලවැදී සිටින අපට ඔබ වහන්සේට ප්‍රසන්නව සැමවිටම ජීවත් වීමට වරය ලැබෙන මෙන් අයදිම්හ. මෙකී දේ අපගේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු තුමන් උදෙසාම ලැබේවා - ආමෙන්