ශුද්ධවූ ලූසියා මුනිශ්වරිගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ ලූසියා මුනිශ්වරිගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි

  • ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • උත්තම වංශකුලයෙන් ජනිතවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • සිසිලිය දිවයිනෙහි සිරකුස නගර පද්මයක් මෙන් ප්‍රබෝධවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ස්ප්‍රීතු සාන්තු තුමන්ගේ ප්‍රිය නිවාසය වූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ධර්ම පද්ම කෙරෙන් ඉතා අලංකෘත පද්මයවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • කටු ගොකටු මධ්‍යයෙහි ප්‍රබෝධවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ධර්ම සවර්ණයන් කෙරෙන් අති දීප්තිමත් වූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ස්වාභා ලක්ෂණ හා ප්‍රඥාමහිමයත් දෙවියන්ගෙන් ලබා ගත්තාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • සාන්ත දාන්ත කීකරුකමේ බාල කාලයේදීම ප්‍රකාශ කළාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • කන්‍යා ශුද්ධවන්ත භාවය මහා ප්‍රීතියෙන් රක්ෂාකර ගත්තාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • දේවදාස යන ශුද්ධවූ ආගිදා තුමියගේ ප්‍රාතිහාර්ය ගැන විශ්වාස කළාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • කානානිය නගරයෙහි ඒ මුනිශ්වරියගේ සොහොන් ස්ථානයට ගොස් ලේ මාලෙන් පීඩිතවූ ස්වකීය මෑණියන් සුවවෙන පිණිස යාච්ඤා කළාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • එලෙස යාච්ඤා කරන විට ඔබට ශුද්ධවූ ආගිදා මුනිශ්වරි දර්ශනය වුනාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • මාගේ සහෝදරියවූ ලූසියා කන්‍යාවෙනි, මගෙන් ඉල්ලන්නාවූ දේ නුඹ විසිනුත් මෑණියන්ට සිද්ධකර දෙන්ට පුළුවනැයි යන වාක්‍යය ශුද්ධවූ ආගිදා මුනිශ්වරිගෙන් අසන්ට භාග්‍ය ලද්දාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • එලෙස ශුද්ධවූ ආගිදා මුනිශ්වරිගේ සොහොන් ස්ථානයෙහි යාච්ඤා කරමින් මෑණියන්ට සම්පූර්ණ සුවය
  • ගෙනදුන්නාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ඔබගේ මාර්ගයෙන් සිරකුස නගර අලංකෘත කීර්තියට පැමිණේය යන වාක්‍යය ශුද්ධවූ ආගිදා මුනිශ්වරිගෙන් අසන්ට වරම් ලත් ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • නුඹේ මහිමයත් මගේ මහිමයත් එක සමානය කියා ශුද්ධවූ ආගිදා මුනිශ්වරිගේ වාක් අසන්ට වාසනා ලත් ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • මාගේ යාච්ඤාවෙන් ලැබෙන දේව දයාව නුඹේ යාච්ඤාවෙනුත් ලැබෙයි කියා ශුද්ධවූ ආගිදා මුනිශ්වරිගේ වාක් අසන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ඔබගේ යාච්ඤාවෙනුත්, විශ්වාසයෙනුත් මෑණියන්ගේ ලේ මාලේ ව්‍යාධියෙන් සුව කළාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • මෑණියන්ට සුවලබා දුන් කෙනෙහි මෙලොව සරණ වීමට උවමනා නැතැයි වදාළා වූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • කන්‍යාශුද්ධිය රකින්ට ඒකාන්තයෙන් ප්‍රියවී සර්ව නායකයානන් ස්වකීය දම්පති තුමන්කොට තෝරා ගත්තාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ලෝක සරණයට නියම කර තිබූ නොයෙක් වස්තු දාරිද්‍රයින්ට සතුටින් බෙදා දුන්නාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ඔබගේ එවැනි ධර්මය ප්‍රසිද්ධව ඔබ සොයා සිටිය මනාලයාගේ දෝහිකමින් අන් සමයන් නඩුව ඉදිරියට ගෙන යනු ලැබුවාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • සැබෑවූ ක්‍රිස්තු ආගම අදහා ගත් හෙයින් ඒ නඩුවාගේ මහත් හිංසා පීඩාවට පැමුණුනාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • එවැනි කෝප සියල්ල දෙවියන් නිසා විඳ බිය නොවී උන්නාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • අන් දෙවිවැන්ට පූජා කරන්ට නඩුවා කී තැන එවැනි ද්‍රෝහිකමක් නොකරමියි වදාළාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • සත්‍ය ස්වභාවවූ දෙවියන්ට මම ඔප්පු වුණිමැයි වදාළා වූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • දිළිඳුන්ට සියලු දේ බෙදුවායින් නඩුවාගේ නීච නිග්‍රාවට ප්‍රාප්ත වුණාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • එවැනි නින්දා සියල්ල ක්ෂාන්තියෙන් වින්දාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • එවැනි වෛශ්‍යාවිය කියා නඩුවා නිගරු කළ තැන ජේසු ස්වාමිදරුවන් මගේ ප්‍රියා දම්පති තමාණන්කොට තොරා ගනිමියි කියා ක්ෂාන්තියෙන් වදාළාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • මෙවෙනි සාන්තදාන්තවූ ප්‍රත්‍යුත්තර වලින් දුෂ්ට නඩුවා ගේ අධික උදහසට පැමිණුනාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • වෛශ්‍යාවියන්ගේ මධ්‍යයට දුෂ්ට නඩුවා ඔබ යවන්නට තැනූ කළ දේව ආශ්චර්යයෙන් නොහෙල්ලී උන්නාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • එවැනි අද්භූතය දැක නඩුවා කෝපව නොයෙක් තරුණයින් ලවා ඔබ ඇද්දෙව් තැන නොසෙල්වුණාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • තරුණයෝ ඔබ සොලවන්නට නොහැකි තැන බෙල්ලෙන් දෙපයෙන් කඹ බැඳ ඇද්ද තැන නොසෙල්වී සිටියාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ඒ මහත් ආශ්චර්යය දුෂ්ට නඩුවා දැක හරකුන් තබා ඔබ ඇද්දෙවු තැන නොසෙල්වී සිටියා වූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • එයින් දුර්ජන නඩුවා ක්‍රෝධයෙන් කිපී ඔබ වට තෙල් වෙඩිලුණු ගන්ධක එක්කොට අග්නිජ්වාලය ඇවිලෙවු තැන නොසෙල්වී සිටියාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ඔබගේ යාච්ඤා බලයෙන් ඒ ගින්නෙන් ජය ගත්තාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • මෙබඳු ජයලත් ඉක්බිති අන් සමයන් අයගෙන් බෙල්ලට ඇනුම් කෑවාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ඒ ඇනීම සිදුවූ සඳ, දුෂ්ට රජ දරුවන් වන මක්ෂිමියානු ගේ මරණයත් දියෝක්ලෙසියානු රාජ්‍යයයෙන් අහක් කරනු ලබන බවත් දැන්වූවාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ඔබගේ මරණ වේලෙහි සියලු ප්‍රසාදවල් ගුරුවරුන්ගෙන් ලබා දෙවියන්ට ප්‍රාණය ඔප්පු දුන්නාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ඔබගේ දම්පත් තුමාණන් වන ක්‍රිස්තුස් ස්වාමිදරුවන් උදෙසා ආත්මය පූජාකොට උත්තම ප්‍රාණ පරිත්‍යාගි වුණාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • වින්ද භයානක වද වේදනාවලින් දේවාගමේ සත්‍යතාව ප්‍රකාශ කොට පෑවාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ඔබගේ රුධිරයෙන් පර ලෝකයෙහි අනර්ඝත්වය පෙන්නුවාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • පරලෝකේ සූරතාවයින් එක්ක ආනන්ද පෙළහර කරන්නාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • අපගේ බලවන්ත රක්ෂාධිකාරිව දිව්‍ය රාජ්‍යයෙහි විරාජමානවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස‍
  • උත්තරය - ශුද්ධවූ ලුසියා මුනිශ්වරියනි, අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ මනුෂ්‍ය ආත්මයන්ගේ පතිතුමාණන් වූ ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවාණනි මුළු හෘදයෙන්ද, මහත් ප්‍රීතියෙන්ද, මුළු කැමැත්තෙන්ද ඔබට ආදර වෙමින් ඔබගේ නාමය උදෙසා ස්වකීය රුධිරයත්, ප්‍රාණයත් පූජා කළාවූ ශුද්ධවූ ලුසියා මුනිශ්වරියට ආදරයෙන් ස්තූති ප්‍රශංසා කරන්නාවූ අප දෙස බලා වදාළ මැනව. තවද ඔබ වහන්සේගේ එම ප්‍රිය කාන්තාව ආත්මික ශාරීරික ශුද්ධ වන්ත භාවයෙන් පැවත ස්වර්ගිය ඓශ්චර්ය ලබා ගත් ප්‍රකාර අප විසිනුත් එලෙස පැවත ඔබගේ රාජ්‍යයට ප්‍රවිශ්ට වනු සඳහා අපට කරුණා කළ මැනවයි ඔබටම යාච්ඤා කරම්හ - ආමෙන්