ශුද්ධවූ රීතා මුනිවරීට ප්‍රාර්ථනාව

ශුද්ධවූ රීතා මුනිවරීට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ මරියනි

  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්නියනි

  • ශුද්ධවූ රීතා මුනිවරිනි

  • දරුපල නොලැබ වයෝ වෘද්ධවූ දෙගුරුන්ගෙන් ජනිතවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • සුශීලවත් දෙගුරුන්ගේ කුසල ධර්ම විපාකය වීමට භාග්‍යලද්දාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • නිහතමානි උජ්චලිත යාච්ඤා ප්‍රතිඵලය වීමට භාග්‍යලද්දාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • දෙවාභිප්‍රායානුකූලවැ ආශ්චර්යමය ප්‍රකාරයෙන් රීනා නමැති නාමය ලද්දාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • භක්තිමත් ධර්මිෂ්ඨ කුටුඹයට මුදුන් මල් කඩක් සේ ධර්මයෙහි වර්ධනයවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • සභා භේදයෙන්ද දුශ්චරිතයෙන්ද ගහනවූ ප්‍රදේශයෙක්හි කටු මධ්‍යයෙහි විකසිත මානෙල් පුෂ්පයක්සේ ධර්ම සුගන්ධ පතුරුවමින් වැජඹුණාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • දේව ප්‍රෙමෝද ඡවලිතවූ දෙගුරුන්ගේ යහපත් ආදර්ශානුශාසනා ලබමින් අනගි මිණි රුවණක්සේ දේව ධර්මය ආරක්ෂා කළාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ඉපදී ස්වල්ප දිනක් ඇවෑමෙන් ස්වකීය අධර යුග්ම යාන්තරයෙහි ශුභ්‍රවර්ණ භෘඞගයන් විසින් මධු වගුරනු ලැබීමට භාග්‍යලද්දාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • බාල පරායෙහිදි සමකාලික ළදැරියන්සේ ක්‍රිඩා වන්හි නොයෙදී දේව මාතා ආසනය අලංකාර කිරීමෙහිද යාච්ඤා කිරීමෙහි ද නියුක්තවැ ප්‍රීති භරිතවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ස්වර්ණ රජත මුකතා මාණික්‍ය යනාදියෙන් සැරසී ලෝකයා ප්‍රීති කරනු වෙනුවට දෙවියන්ට ප්‍රීය ආත්මාභරණවූ කුසල ධර්ම සන්නද්ධවීමට අතිශයා භිලාෂිවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • දිව්‍ය සත්ප්‍රසාද මාර්ගයෙන් වැඩ සිටින ජේසු ස්වාමිදරුවන්ගේ ආදර්ශයෙන් මෞන භාවය කීකරුකම යන උත්තම ධර්මයන් මනාසේ අවබෝධ කර ගත්තාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • සකල මනුෂ්‍යයන් උදෙසා ජීවිත පූජා කළ ජේසු ස්වාමිදරුවන්ගේ උත්තමාදර්ශයෙන් සමානාත්මතා ධර්මය උද්ග්‍රහණය කළාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ලෝකයාගේ පව් සඳහා දෙව් පියාණන්ට යාග පූජාවූ ජේසු ස්වාමිදරුවන්ගේ ආදර්ශය බලා පව්කාරයන් හැරීම සඳහා දෘඨතර මර්ධන කෘතීන් ගෙන් ස්වකීය ශරීරයට පීඩා කළාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ශුද්ධවූ ස්නාවක ජුවාම් මුනිතුමා ප්‍රමුඛ පුරාණ තපස් විවරයන් අනුසාර කරමින් ලෝකාශ්‍රයෙන් තොරව ගිහිගෙයි හුදකළාව වෙසෙමින් ධ්‍යාන සමවැදී කාලය ගත කළාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • දොළොස් හැවිරිදි වූ කැලෑ ස්වකීය නිර්මල ජීවිතය ජේසු ස්වාමිදරුවන්ට කැපකරනු සඳහා පැවදීමට අතිශයාභිලාෂිවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • අන්‍යධාරයක් නොමැති දෙගුරුන් අණට කීකරුව චණ්ඩ පරුෂ පුරුෂයෙකු හා විවාහවී ඔහුගෙන් අනෙක පීඩා වින්දාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • සිය දරු දෙදෙනා පියාගේ ආදර්ශ අනුව පාප මාර්ගයෙහි ගමන් කරනු දැක ශොකාතුර වුනාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • යාච්ඤාවක් ප්‍රමුඛ ඉවසීමෙන්ද ගරු සත්කාර කිරීමෙන්ද පුරුෂයා හා දෙදරුන් දහම් මග යෙදවීමට නිරතුරු වෙහෙසුනාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • සිය සැමියාණන් දහමට හැරී නොබෝ කලකින් සතුරන් විසින් මරණ ලද බව දැන දුඃඛ සාගරයෙහි නිමග්නවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • සිය පියාණන් මැරූ අයගෙන් පලිගැනීමට ඉටාගෙන හුන් දෙදරුන් ස්වකීය අවවාද නොපිළි ගත් කළ වික්ෂෝප භරිතවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • එකී අපරාධයෙන් මුදා ගනු වස් දරු දෙදෙනා මෙලොවින් තුරන් කර ගන්නා ලෙස දෙවියන්ට යාච්ඤා කළාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • පුරුෂයා හා දරු දෙදෙනා මිය ගිය කල හටගත් දුඃඛ ශෝකය දෙවාභිප්‍රායානු කුලව ඉවසීමෙන් දරා ගත්තාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ඉක්බිති ගෘහාභිනිෂ්ක්‍රමණයකොට ශුද්ධවූ අගුස්තීනු පද්ධතියෙහි පැවදීමට අයදුම් කළාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • වැන්දඹුවන් පිළි ගැන්ම එම පද්ධතියේ නියෝගයන්ට විරුද්ධ හෙයින් සිය අයදුම ප්‍රතික්ෂේප කරනු ලැබූ කළ ශෝක හරිතවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • සිය ඇයදුම තුන්වරක් ප්‍රතික්ෂේප කරනු ලදුවත් ආශ්චර්යමය ප්‍රකාරයෙන් රාත්‍රි භාගයෙහි තාපසිකා රාමයට ඇතුළු කරනු ලැබුවාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • පැවිදිවූ ඉක්බිති තාපසිකා රාම වාසින්හට ධර්ම දර්පණයක් සේ වැජඹුණාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • යාච්ඤා කිරීම ස්වකීය ආත්මයේ අනන්ත පානයසේ ධ්‍යාන භාවනාවන්හි නියුක්තව සිටියාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ජේසු ස්වාමිදරුවන්ගේ දුඃඛ වේදනා ගැන නිතොර මෙනෙහි කරමින් කුරුසයේ ඇණ ගසනු ලැබීමට අතිශයාභිලාෂිවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • කුරුසයේ ප්‍රතිමාවේ ශීෂි මස්තකයෙහි පිහිටි කටු ඔටුන්නෙන් නිකුත් වූ කටුවකින් සිය නළල් තලය සිදුරු වීමට භාග්‍ය ලද්දීවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • එම තුවාලයේ අති බලවත් වේදනා මහත් ඉවසීමෙන් ප්‍රීති හරිතව ජීවිතාන්තය දක්වා දරා ගත්තාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි
  • අවුරුද්දේ වැඩි කාලයක් නිරාහාර ශීලයෙන් යුක්තව මදින ධර්මය රක්ෂා කළාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ශුද්ධාග්නිස්ථානයේ ආත්මයන්ද, පද්ධතියට ආධාර කරන්නන් හා පව්කාරයන් උදෙසා දිනපතා දිවා රෑ දෙකෙහි තෙවරක් ස්වකීය නිර්මල ශරීරය කසලවලින් තලා ගත්තාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • මරණ මංචක ප්‍රාප්තවූ ජේසු ස්වාමිදරුවන්ද දේවමාතාවන්ද දර්ශනයට තෙදිනකින් ස්වර්ගිය ප්‍රාප්තවන බව ප්‍රකාශ කරනු ලැබීමට භාග්‍ය ලද්දීවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • එසේ ප්‍රකාශිත දින ස්වාමින් වහන්සේ තුළ සමාදානයේ සැතපී ස්වකීය පරිශූද්ධ ආත්මය දේව හස්තගත කළාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • මෙලොවින් තුරන්වූ කෙණෙහිම දේව දූත සමුහයා විසින් පිරිවරන ලදුව ස්වර්ගාරූඪවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ආත්මය තුරන් වන්නාම මෘත ශරීරයේ වාක්‍ය විෂයාතික්‍රාන්ත ප්‍රභාන්විතව භ්‍රාජමානවීමට භාග්‍ය ලද්දීවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • දිව්‍ය රාජ්‍යයෙහි භුක්ති විඳින යශෝතෙජස නානා විධ ප්‍රාතිහාර්ය වලින් ප්‍රකාශ කළාවූ ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ස්වකීය සරණ ආරාධනා කරන, සකල තත්වයන්හි නියුක්තවූවන්ගේම ආධාරකාරිවන ශුද්ධවූ රීතා මුනිවරිනි

  • දුෂ්කර කාරණයන්හිදී ප්‍රාර්ථනා රහිතවූවන්ගේ අපේක්ෂාව වන ශුද්ධවූ රීතා මුනිවරිනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන පිණිස‍
  • උත්තරය - ශුද්ධවූ රීතා මුනිශ්වරිනි, අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භෆ දයාබරකමේ ප්‍රමාණත්‍රිකාන්ත සාරයවූ දෙව් ස්වාමිනි, ඔබගේ පක්ෂපාත දාශිවූ ශුද්ධවූ රීතා මුනිවරිගේ ආත්මය සකල ධර්ම වලින් සරසා උන්වහන්සේ ලෝකයේ සකල තත්වයන්ටම අයත් ශ්‍රද්ධාවතුන්ට උතුම් ආදර්ශයක් කොටද, ඔවුන්ගේ දුඃඛ වේදනාවලදී හා උවමනාවලදී බලවත් ආධාරකාරියක් කොටද දෙනු ලැබු සේක් වේද ඒ මුනිවරිගේ ධර්ම ජීවිතය මෙනෙහි කරමින් ස්වර්ගිය මහිමය ගැන ප්‍රීතිවන අපිදු ඒ භාග්‍යවන්තියගේ යාච්ඤාධාරයෙන් ඔබ වහන්සේගේ දිව්‍ය අභිප්‍රායානුකූලව කල්යවා ධර්මයෙහි දියුණු වී දිව්‍ය මෝක්ෂ විපාකයට හේතුවන්ත වන ලෙස අපට වරම් දෙවා වදාළ මැනව. මේ කීදේ අපේ ස්වාමින්වූ ජේසුස් ක්‍රිස්තු ස්වාමි දරුවන් උදෙසාම ලැබේවා - ආමෙන්