ශුද්ධවූ නිකොලා මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ නිකොලා මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
  • ශුද්ධ වූ දේව මෑණියනි
  • කන්‍යාති කන්‍යාවෙනි‍
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ නිකොලා මුනින්ද්‍රයෙනි

  • ලිසියා පටුනේ හි දක්නා ලද අධික සුවඳ පුෂ්ප සරෝරුවක් වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • ධර්මිෂ්ඨ එපිපානි සහ ජුවානා යනමව් පිය දෙදෙනාගෙන් උපන්නාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • වංශ කුල මහිමයෙනුත්, ඓශ්චර්ය සම්පත්ති වලිනුත් පිරුණු පියාණන්ට දාව උපන්නා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • උපතයෙහි ජය යන ශුභ නාමයප්‍රසාද ස්නාපනයෙහි දී ලද්දාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • පාප රාජ්‍ය නසා ජය ගැනීම අත් කළාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • ජීවිත ක්‍රමය දැන ගැනීමට පෙර දෙවියන් වහන්සේට ස්තූති කිරීම දැන ගත්තා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • ආහාර පාන ගන්නට දැන ගැනීමට පෙර නිරාහාරය රක්ෂා කරන්ට දැන ගත්තාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • අනිකුත් දිනවල කිරි මව්ගෙන් බොහෝ වරක් කිරි බිව් නමුත් බදාදා හා සිකුරාදා එක් වරක් ක්ෂිර පානය කළාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • මෙම උපවාසයෙහි අභ්‍යාසය නහිනතුරු රක්ෂා කළාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • මව් පියන්ගේ ඓශ්චර්ය සම්පත් උරුමයට වඩා ධර්ම උරුමය ලබා ගන්ට වාසනා ලද්දාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • නිරපරාධ භාවයෙන් බොළඳ වයස් පසු කර ධර්මාචාරයට බාලේ හි ඇතුලත් වුනාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • දේවස්ථාන වල ධ්‍යානයෙනුත්, දේශනා ඇසිමෙනුත් බොහෝ වේලා පසු කර උන්නාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • යෞවන මිත්‍රයින්ගෙන් පැමිණෙන්නා වූ පාප ඡායාවල් නොවදින ලෙස ඔවුන්ගේ මිතුරුකම් මුළුමණින් අත් හැරියා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • පාප සිදු නොවෙනු සඳහා සර්වප්‍රකාරයෙන් ඉන්ද්‍රියත් මර්ධනය කළා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • ඔබගේ මව්පියන් නැසුන ඉක්බිති මහ ධන සම්පත්තිය දිළිඳුන්ට බෙදා දුන්නාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • දිළිඳු ප්‍රධානියකුගේ කුමරියන් තිදෙනකු සරණ කර දීමට පිහිටව පියාවත් දරුවනුත් පාපයෙන් ගලවා ගත්තාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • දේව ප්‍රේම වේගයෙන් ශුද්ධස්ථාන දර්ශනය කරමින් වන්දනා කරන පිණිස පලස්තීන දේශයට ගමන් කළා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • මෙම ගමනේදී මුහුදු යාත්‍රා කාරයින් ඉතා තද බල සැඬ සුළඟෙකින් විනාශයට පත් වූ බව දැක දෙවියන් වහන්සේට යාච්ඤා කර සුළඟත් මුහුදත් නිශ්චල කළ වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • පූජාත්වරය ලැබීමට පෙර සිට පවා රාජගුරු ප්‍රසාදි කොට දෙවියන් වහන්සේ විසින් තෝරා ගත්තාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • මෙවැනි තනතුරට නොපැමිණෙමැයි හැකි ප්‍රමාණ වැලකී දේව අභිප්‍රායට පමණක් යටත් වී එවැනි තනතුරු අත් කර ගත්තාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • එවන් තනතුරු අත් කළ දින පටන් තමා උදෙසා නොව අනුන් උදෙසා ජීවත් වුනාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • මෙම තනතුරු අත් කර ගත් පසු එකම භෝජනයකින් පමණක් දවස් පසු කළා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • කොන්ස්තන්තීනු අගෝස්තු කියන අභිනායකයා අනඩු ලෙස මරණයට පත් කළ සේනාධිපති වරුන් තුන්දෙනා ගලවා ගත්තාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • පිරිසිදුකම නමැති ධර්ම සුවඳ පියුමක් සේ අධික ආශාවෙන් රැක ගත්තාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • සකල ධර්මයෙන් විශේෂ වශයෙන් අවනත බව විශ්මය ජනක ප්‍රකාරයෙන් රක්ෂා කළාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • අවවාද අනුශාසනා කිරීමෙන් අමෘත බර වූ කෙනෙකුව උන්නා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • දුර්ගුණ මර්ධනය කිරීමෙහි මහ තෙදවත් කෙනෙකුව උන්නාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • පාපිෂ්ඨයන් වෙත දයාවන්ත කෙනකුව උපන්නා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • ධර්මිෂ්ඨයින්ගේ මුලු ප්‍රේම වන්තයකුව උන්නා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • දේශනා වේලේහි මහා ගිනි තාප වාක්‍ය වලින් මනුෂ්‍යයින්ගේ සිත් දවමින් උන්නා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • දුෂ්ඨ දියෝක්ලේසියානු සහ මක්ෂිමියානු යන අභිනායන වරුන් දෙදෙනාගේ පණතට පසු බට නොවී මිරිමි පටුනෙහි සත්‍ය වේද විශ්වාසය දේශනා කළා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • අභිනායකයාගේ මුර හේවායන් විසින් අල්ලා බොහෝ දුර ගෙන ගොස් සිර සලෙහි වසනු ලැබුවාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • නිමක් නොවූ අද්භූත පාන්නට වරම් ලද්දාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • දුර දේශ වලෙහි පවා ප්‍රශංසා කරන ලද්දාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • දේව භක්තියෙන් පරහට දයා වී සියල්ලන්ට එක ලෙස පිහිටාධාර වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • උසක් මත්තෙහි පිහිටි ප්‍රදීපාලෝකයන් මෙන් දැල්වී සියල්ලන් ආලෝකවත් කර උන්නාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • අති මෘදු වූ භක්තියෙන් කන්‍යා මරියවහන්සේගේ පිහිට අයැද සිටියා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • ලිසියා පටුනෙහි තුන්සිය අටලොස් රාජ ගුරු ප්‍රසාදින් සමග එකතු ව දුෂ්ඨ සතුරාගේ ඇදහිලි මත දේවාගම රක්ෂා කළා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • මෙකී මන්ත්‍රණ සභාවේදී ක්‍රිස්තු තුමන්ගේ දිව්‍ය සභා සත්‍ය ප්‍රකාශ කොට ගැලවීමේ මාර්ගය රැක ගත්තාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • දුඃඛිතයන් සැනසීමෙනුත් ලෙඩුන් සුව කිරීමෙනුත් ජේසු තුමන්ගේ සැබෑ මෙහෙකරුවෙකුව උන්නා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • මරණ මොහොතේදී ස්වාමිනි ඔබවහන්සේ වෙත ඒකාන්ත වුනිමි යි කියා ආත්මය දෙවියන් වහන්සේට භාර කළා වූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • ඔබගේ ශුද්ධවූ වස්ත්‍රාභරණ වලින් මේ වන තුරු විහිදෙන්නා වූ සුවඳින් සියලු රෝගීන් ගුණ කිරීමට ජේසු තුමන් ගෙන් වරම් ලද්දාවූ ශු. නිකොලා මුනින්ද්‍රයෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තු වාක්දාතවලට අප හේතුවන්ත වන ලෙස‍
  • උත් - ශුද්ධවූ නිකොලා මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්වපරාක්‍රම මහෝත්තම, සර්වේශ්වර වූ දෙවියනි, ඔබවහන්සේ ඔබගේ දේවාගම් සත්‍ය ධර්ම මාර්ගයත් අපට පෙන්වන්ට මහෝත්තම වූ වරප්‍රසාද වලිනුත් බොහෝ ප්‍රාතිහාර්ය වලිනුත් ඔබගේ දයා වූ ශුද්ධ වූ නිකොලා මුනිඳුන් පූර්ණ කිරීමට කරුණා අභිප්‍රාය වූ සෙක් වේද? එබැවන් ආගම සත්‍යය වැළඳගත් අප සියල්ලන් උන්වහන්සේගේ පිහිටෙන් ධර්මිෂ්ඨ කමෙන් පැවත උන්වහන්සේ ලැබ ගත් මෝක්ෂ මහිමයට පංගුකාරයන් වන ලෙස දයා වුව මැනවයි ඔබට ම යාච්ඤා කරමු. මේ කීදේ අපගේ ස්වාමි වූ ජේසු ක්‍රිස්තු උදෙසා ම ලැබේවා - ආමෙන්