ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ මරියනි

  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්නියනි

  • ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • ස්පාඤ්ඤ දේශයට අමුතු ආලෝකයක් මෙන් වංශාධිපති දෙගුරුන්ගෙන් උපන්නාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • ධර්ම වන්ත දෙගුරුන්ගෙන් දේව භය භක්ති ක්ෂිරය ලබා ගත්තාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • බාල කාලයේදීම දේව ප්‍රේමය ක්‍රමයන් අනුවාර කළාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි
  • දේව ප්‍රේමාධිකයෙන් ප්‍රාණ පරිත්‍යාගිවෙන්ට ආශා වුනාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • දේව කුමාරයාණන් වෙත විශේෂ ප්‍රේමයෙන් සෝබිතවුනාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • එවැනි ප්‍රේමය උදෙසා දේවමාතාවන්ගේ විශේෂ සරණධාරය ලබන්ට වාසනාලත් ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • විශේෂ වරප්‍රසාද ලබන්ට මත්තෙන් දසඅට අවුරුද්දක් මුළුල්ලේ මහත් දුක් වේදනා බැගෑපත් ඒකාන්ත සිතින් ඉවසුවාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • එම අවුරුදු දස අටේදි දුෂ්ට පරික්ෂාකාරයා කළ මායම් වලට අසුනොවී ධෛර්ය ප්‍රසාද ඇතුව ධර්ම සංග්‍රාමය කළාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • දේව ප්‍රසාද මිහිරේ ලුහුඬුකමින් ආත්මික කාෂ්ටකය අවුරුදු ගණනක්ම ඉවසුවාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • මෙවැනි පරීක්ෂාකාලය ප්‍රධානවද අන්තිම කාලය දක්වාද ස්ථිර භක්ති විශ්වාසයෙන් පැවතුනාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • කන්‍යා ශුද්ධිය සෙව්වන්දි පුෂ්පයක් මෙන් ආරක්ෂා කර ගත්තාවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • ජීවිත කාලයේදී නිර්මල කන්‍යා භාවයෙන් සුරතාවයන්ට සදෘශවෙන්ට වරම්ලත් ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි

  • ශුද්ධවූ ජුසේ මුනිදුන්ගේ පිහිටාධාරයෙහි බලවත් විශ්වාසයක් තැබුවාවූ වරප්‍රසාදයෙන් පූර්ණවන්තියනි

  • දේව දයාගිනි ඊතල පහරකින් සුරතාවයා විසින් හෘදය සිදුරුකරන්ට වරම්ලත් වරප්‍රසාදයෙන් පූර්ණවන්තියනි

  • එම සඳෙහි ක්‍රිස්තු ස්වාමිදරුවන් විසින් ශ්‍රී හස්තය දී නැගිටුවා මාගේ ප්‍රිය කාන්තාව කොට සිටින ලෙස කී දේ අසන්ට වරම්ලත් වරප්‍රසාදයෙන් පූර්ණවන්තියනි

  • ශුද්ධෝත්තම පියතුමන්ගේ අනුමැතිය පිට කාර්මෙල් තපස් පද්ධතිය ප්‍රකෘතිමත් කොට එය වර්ධනය කරන්ට දේව අනුග්‍රහය ලැබුවාවූ ධර්ම වන්තියනි

  • ලෝක පිහිට නැතුව තපසාරාමවල් දෙතිස් ගණනක් සාදා පැවිදි පද්ධතිවල් ස්ථාපනය කළාවූ ධර්ම වන්තියනි

  • තාපස තාපසිකාවන් දෙගොල්ලන්ටම අති යහපත් තපස් ක්‍රමයක් සාදා දුන්නාවූ ධර්ම වන්තියනි

  • කාර්මෙල් තපස් පද්ධතියේ තේජස් කිරුලක් වැනි ධර්මාලංකාරියනි

  • දහස් ගණන් පව්කාරයන්ගේ සිත් පහදා සුරලෝක මාර්ගයෙහි ගමන් කරවන්ට වරම් ලත් ධර්මාලංකාරියනි

  • සුකෘත ධර්මයන් විසඳා වේද ශාස්ත්‍රධාරියා යන කීර්ති නාමය ලත් ධර්මාලංකාරියනි

  • දිව්‍ය පතිතුමාණන්වූ ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ තේජසය උදෙසා මුලු ජීවිත කාලය ගත කළාවූ ධර්මාලංකාරියනි

  • ජේසු ස්වාමිදරුවන් උදෙසා නෙෂ්ටුර ගාවිනාවල් විඳීම මිස මෙලොව වෙන මිහිරක් නැතෙයි කියා පැවතුනාවූ ධර්මාලංකාරියනි

  • එවැනි දුක් හිංසා නැතුව සිටීමට වඩා මෙලොව ආයුස නිමවෙනවා සොඳෙයි කියා යාච්ඤා කරමින් සිටියාවූ ධර්මාලංකාරියනි

  • ධර්ම කුසලින් සුපුස්පිත පද්මයක්සේ සෝභනවූ ධර්මාලංකාරියනි

  • භක්තිජ්වාලක සුරදූතයෙක් මෙන් ප්‍රේමාධික කමින් දෙවියන් හා එකඟව දවස් ගත කරන්ට භාග්‍ය ලත් ධර්මාලංකාරියනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ පුණ්‍යක්‍රියා එකින් එක අනුවාර කළාවූ ධර්මාලංකාරියනි

  • ස්වාමිදරුවන්ගේ වදගාවිනා ගැන ධ්‍යානකර දුක් කඳුලු හෙලා වැලපුනාවූ ධර්මාලංකාරියනි

  • සැබෑවූ සාන්ත දාන්ත ගුණයෙන් හා මහත් අවනත භාවයෙන් මෙලොව ජීවිතය ගත කළාවූ ධර්මාලංකාරියනි

  • උත්තම කීකරුකමේ යහපත් ආදර්ශයක් වුනාවූ ධර්මාලංකාරියනි

  • දේව අභිරහස් ගැන භාවනා ධ්‍යානයේ විශේෂ වරම්ලත් ධර්මාලංකාරියනි

  • මනෝ ධ්‍යානවලදී බොහෝ විට පරවසම්වෙන්ට වරම්ලත් ධර්මාලංකාරියනි

  • පව්කාරයින් හා මිථ්‍යදුෂ්ටින් උදෙසා දුක්ගෙන ආරාධනා කළාවූ කන්නියනි

  • ධාන්‍ය ස්වල්පය සාගත කාලයෙහි බොහෝ දුගි යාචකයන්ට බෙදා දෙන විට අඩු නොවී තිබෙන්ට ප්‍රාතිහාර්ය බලපෑවවූ කන්නියනි

  • ධර්ම කුසලින් පූර්ණවූ සුකෘත ආයුස නිමකරන්නට භාග්‍ය ලත් කන්නියනි

  • උකුත්වෙන වේලේහි සූරතාවයන් හා ප්‍රාණ පරිත්‍යාගින් පිරිවරා ක්‍රිස්තු ස්වාමිදරුවන් විසින් පෙරමුණට වඩින්ට වරම් ලත් කන්නියනි

  • එම සඳෙහි දේව ප්‍රේමාධිකයෙන් පරවසම්වී ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ ශ්‍රී හස්තයට ධර්මාත්මය භාර කළාවූ කන්නියනි

  • පරලොවට වඩින වේලෙහි වියලි ගසක් දළු දමා මල් පිපෙන්ට ප්‍රාතිහාර්ය බලපෑවාවූ කන්නියනි

  • ඔබගේ මෘත ශරීරයෙන් අමා මිහිර සුගන්ධය විහිදුවන්ට වරම් ලත් කන්නියනි

  • ඔබගේ මෘත ශරීරය තැන්පත් කරන වේලෙහි අහස් මණ්ඩලය තරුරැස් ප්‍රභාවක් පහල වෙන්ට වරම් ලත් කන්නියනි

  • ස්පාඤ්ඤ දේශයෙහි අල්බා නුවර දේව මන්දිරයෙහි ඔබගේ ශුද්ධවූ ශරීරය අදවනතුරු නොදිරා තිබෙන්ට වරම් ලත් කන්නියනි

  • දේව ශ්‍රී දර්ශනයෙන් වෑහෙන අමාමොක් සුගතියෙන් පූර්ණ භරිතවූ කන්නියනි

  • ඔබ කෙරෙහි භක්ති අනුචාරයෙන් පිහිට ඉල්ලන අසරණයන්ට මධ්‍යස්ථ සරණයවූ ප්‍රසාදාලංකාර කන්නියනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන පිණිස‍
  • උත්තරය - ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිනි, අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ අනන්ත කරුණා දයාභරිතවූ දෙව් පියාණෙනි, ඔබගේ සත්‍යධර්ම මහිමාලංකාර සැරසීමෙන් අලංකෘතවූ ශුද්ධවූ තෙරේසා මුනිශ්වරිගේ මාර්ගයෙන් සකල මනුෂ්‍යයන් කෙරෙහි ඔබ පවත්නා අනන්ත කරුණාව ප්‍රකාශ කළ සේක් වේද, එබැවින් එම ශුද්ධවන්තීගේ මධ්‍යස්ථකම හේතුකොටගෙන අප ධර්මයෙන් ධර්මයට දියුණුවෙමින් ජීවිතාන්තය දක්වා පැවත සුරලොව ඉසුරට ප්‍රවිෂ්ටවෙනු පිණිස අපට කරුණා කළ මැනව. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්