ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍නියනි
- ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- සෙබදි සහ මරිය සලෝමි යන දෙගුරුන්ගෙන් උපන්නාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- සන්තියාගු අපෝස්තුළුතුමන්ගේ සහෝදර වූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් අපෝස්තුළුකමට අඬගැසු සඳ සියල්ලම අත්හැර උන්වහන්සේ අනුව ගියාවූ ශුද්ධවූ ජුවාම්
- අපෝස්තුළුතුමෙනි
- අනිකුත් අපෝස්තුළුවරුන්ට වඩා වයසින් බාලව සිටි නමුත් ප්‍රඥා භක්ති ප්‍රසාදයෙන් ඔවුන්ට සමානවුණාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන්ගේ විශේෂ අබිරහස් සහ ප්‍රාතිහාර්ය මුලපටන් දැකගන්ට නියමවුණ ගෝලයන් තිදෙනාගෙන් එක්කෙනෙක් වූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- වෘත ශුද්ධිය ආරක්ෂා කළ පිරිසිදු මහිමය නිසා ස්වාමි දරුවන්ගේ ප්‍රේමණීය ගෝලයාය කියනු ලබන්නට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ජයිරුස්ගේ මළ දුවණියන් ස්වාමිදරුවන් විසින් උත්ථාන කළ විට ඊට සාක්ෂි දැරු ගෝල තිදෙනාගෙන් එක්කෙනෙක් වූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් සිද්ධකළ ගණන් නැති ප්‍රාතිහාර්යයන්ට සියැසින් සාක්ෂිදරන්ට වාසනාලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- තබෝර් කන්ද මත්තේදී ස්වාමිදරුවන්ගේ අන්‍යරූපවිලාස මහිමය දකින්න වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් වදාළ ධර්මදේශනාවලුත් ධර්ම උපදේශවලුත් අසා උන්වහන්සේ කෙරෙහි ඒකාන්ත විශ්වාසයෙන් පවතින්ට වරම් ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- අන්තිම පාස්කු බොජුන් ආසනයෙදී අධික දේව දයා භක්තියෙන් ස්වාමිදරුවන්ගේ ශ්‍රී ළයෙහි හාන්සි වී සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්ට වාසනා ලද්දා වූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- සකල මනුෂ්‍යයන්ගේ පාපිෂ්ඨ ද්‍රෝහිකම් නිසා ජෙත්සෙමනි උයනේ ලේඩහදියෙන් වැඩ උන් ස්වාමි දරුවන් දකින්ට වාසනා ලද්දා වූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- එම උයනේදි දුෂ්ටවූ ජුදයන් ස්වාමිදරුවන් අල්වාගත් විට පක්ෂපාත ප්‍රේමයෙන් උන්වහන්සේ අත් නොහැර සිටියාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ජුදයින්ගේ නඩුනායකයන් ඉදිරියේදී නෙෂ්ටූර වද හිංසා ලැබූ ස්වාමිදරුවන්ට කුමක්වේදෝ කියා දුකින් පීඩිතව බලා උන්නාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- සකල ජනයින් පාපෙන් මුදන පිණිස පූජාවෙන්ට කල්වාරි කන්දට කුරුසේ රැගෙන වැඩම කළ ස්වාමිදරුවන් අනුව ගියාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- එම කල්වාරිකන්ද මත්තේදී පව්කාර මනුෂ්‍යයන් ගලවාගන්ට ස්වාමිදරුවන් පූජාවුණ සැටි සිය සිත් දකින්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් විසින් වින්ද අප්‍රමාණ දුඃඛප්‍රාප්තිය වික්ෂෝප මෑණියන් සමග කුරුසේ පාමුල බලා උන්නා වූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- දුඃඛප්‍රාප්ති කුරුසේ පිට වැඩ උන් ස්වාමිදරුවන් විසින් මේ නුඹේ පුත්‍රයාය කියා දේව මෑණියන්ට බාරකරනු ලබන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- වෘත ශුද්ධිය ආරක්ෂාකළ මහිමය නිසා කන්‍යමරිය වහන්සේව මේ නුඹේ මෑණියෝය කියා ස්වාමි දරුවන්ගේ ශ්‍රී මුඛයෙන් වදාළ වාක් අසන්ට වාසනා ලද්දා වූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් දිවිපුදා උකුත්වුන වේලාවේදී පොළොව කම්පාවී පර්වත දෙදරා ඉර ඇඳිරිවී භූමිය කම්පාවුන ප්‍රාතිහාර්ය සියැසින් දකින්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන්ගේ ශ්‍රී ළයට දුෂ්ට හේවායා හෙල්ලයකින් ඇන්නවිට එයින් ගලා ගිය සිරිලේ ජලධාරාවන් සියැසින් දකින්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන්ගේ ශ්‍රී ශරීරය අනිකුත් ගෝලයන් සමග කුරුසෙන් බා ගල්ලෙනෙහි තැන්පත් කරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන්ගේ ශ්‍රී ශරීරය ගල්ලෙනේ නැත කියා ශුද්ධ වූ මරිය මග්දලේනා කී සඳ පේදුරු නමැති අග්‍රගෝලයා සමග දිවගොස් බලා නැති බව දැක දුකින් ලතවුනාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ඒ දුකින් ලතවෙන අතර මළවුන් කෙරෙන් උත්ථානවූ ස්වාමිදරුවන් කීපවරක් අනිකුත් ගෝලයන් සමග දකින්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- දේව අභිරහස් ධර්මගුරුකම් සහ පාපක්ෂමා බලය අනිකුත් ගෝලයන් සමග ස්වාමිදරුවන්ගෙන් ලබා ගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ලොව මුළුල්ලේ ගොස් සෑම මනුෂ්‍යයින්ගේ ආත්ම ගැලවීම පිණිස සුවිශේෂ දේශනාකරන්ට ස්වාමිදරුවන් පරලොවට වඩින්ට පෙර උන්වහන්සේගෙන් අණ ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් පරලොවට වැඩිය දස දිනෙන් ලබා ගත් ස්ප්‍රීතු සාන්තු ප්‍රසාද බලෙන් නොයෙක් භාෂා කථා කරන්ටත් ප්‍රාතිහාර්ය බල වික්‍රම පාන්ටත් වරම් ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- නොයෙක් රාජ්‍යවල දේශනාකර සත්‍යාගම සැබෑ බවට අනේක ප්‍රාතිහාර්ය සිද්ධකර සැබෑ දේව ඇදහිල්ලෙහි ගණන් නැති පව්කාරයන් පහදවන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන්ගේ අණ පරිද්දෙන් අන්තිමය දක්වා දේව මෑණියන්ට ගෞරවාදරයෙන් සංග්‍රහකරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- දේව මෑණියන් ශුභ මරණ ප්‍රාප්තව සුරරාජ්‍යයට වැඩිය කල සුරතාවයන්ගෙන් මධුර ගීතිකා අසන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ආලෝක රශ්මියෙන් බැබලූණා දේවමාතා වහන්සේගේ සුගන්ධ ශ්‍රී ශරීරය තැන්පත් කළ සඳ සුරතාවයන් කැටුව දේවස්තෝත්‍ර කියන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- උකුත්වුන තුන්වෙනිදා ආත්මය හා ශරීරයෙන් යුක්තව දේව මාතාවන් පරලොවට දේව බලෙන් වැඩිය බව දැනගත්තාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් සැබෑදෙවියන් බව ලෝක සතරදිග ප්‍රකාශකරන්ට බොවනාර්ජස් නම් ආශිර්වාදනාමය ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- සත්‍යාගම ලෝක දසදින ස්ථාපනය කරනවා දුටු මිථ්‍යාදෘෂ්ටි අග රාජාගේ අඥාව ලෙස ගින්දරමෙන් උතුරන තෙල්කටාරමේ දමා මරන්ට නියම වුණාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- එවැනි උතුරන තෙල්කටාරමේ දැමූ විට තිබුණටත් වඩා ශක්තිමත් ශරීර සනිප ලැබ එතනින් ගොඩ එන්නට වරම් ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- දුෂ්ට අගරජ මේ දැක රොස්වී රටෙන් පිට දමා පත්මොස් නම් දූපතට යවන ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ලෝක අන්තිමය දක්වා මේ ලොවට සිද්ධවෙන්ට තිබෙන නොයෙක් අභිරහස් ස්වාමිදරුවන් විසින් එද දූපතේදී දර්ශනයෙන් පෙන්වාදෙනු ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- දිවසින් දුටු එවැනි අපූරු කරුණු සියල්ලම ස්ප්‍රීතු සාන්තු වරමින් දර්ශන පොතේ ලියා තැබුවාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- වේදභේදකාර සිරින්තු සහ එබියොන් ගේ බොරු ඉගැන්වීම් සුණුවිසුණු කරදමා ලොව ගැලවුම්කාර ස්වාමිදරුවන් සැබෑ දෙවියන් බව විස්තර කර සුවිශේෂ පොත ලියන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- වයෝවෘද්ධ ගතව සිටි අන්තිම කාලයේදී එකින් එකාට දයාවෙන් පවතින්ට කියා සෑමදාම දේශනා කළාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- සැමදාම එම දේශනාවම වදාරන්නේ ඇයි දැයි ගෝලයන් ඇසු සඳ ඒ ස්වාමිදරුවන්ගේ ධර්මගුරු කමයයි වදාළවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- අවුරුදු සියක් ආයු වළඳා ධර්මකුසලින් පූර්ණවූ ආත්මය දේවහස්තකොට මෝක්ෂ ඔටුන්න ලබන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- විශ්වාස හීනවූ අපගේ ආත්ම ගැලවීමට ඕනෑ සොඳ නුවණ දෙවියන්ගෙන් ලබා දෙන්ට වල්ලභවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ඔබට බාරවෙන සියල්ලන් ලෙඩදුක් උපද්‍රවවලින් ගලවා ආරක්ෂා කරගන්ට වල්ලභවූ ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ප - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වෙන ලෙස
- උ - ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්වනායක දෙව් ස්වාමිනි ඔබ පුතණුවන්ගේ ශ්‍රී නාමයෙන් ශුද්ධවූ ජුවාම් අපෝස්තුළුතුමන් පව්කාර මනුෂ්‍යයන්ගේ ආත්ම ගැලවීම පිණිස උගන්වා වදාළ දිව්‍ය ධර්ම ගුරුකම්වලින් ඔබ වහන්සේගේ ශුද්ධවූ සභාව ලොව මුළුල්ලේ වර්ධනය වී ස්ථාපන වෙන්ට නියම කර වදාළාවේද? පව්කාර අපත් අපේ ආත්ම ගැලවීම පිණිස එම ඔබගේ අපෝස්තුළුතුමන් උගන්වා වදාළ දිව්‍ය ධර්ම ගුරුකම් අපේ හෘදවල අඩංගු කර ශුද්ධ වූ සභාවේ සැබෑ දරුවන් වී පරලොව මෝක්ෂ ඔටුන්නට හිමිකාරයන් වෙන්ට කරුණාකර වදාළ මැනව. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්