භාග්‍යවන්ත ඌගෝ මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

භාග්‍යවන්ත ඌගෝ මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
  • ශුද්ධ වූ දේව මෑණියනි
  • කන්‍යාති කන්‍යාවෙනි‍
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • සෙන්තිනි නම් නුවරෙහි අලංකාර මලක්සේ ප්‍රබෝධවුනාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • දේව භක්තියෙන් හා ගරු මානයෙන් යුක්ත වූ මවුපියන්ගෙන් උපන්නාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • දෙගුරුන්ගෙන් ධර්ම ක්‍රමය උගත්තාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ලාබාල වයසේදීම සුකෘත ජීවිතයෙන් පැවැතෙන්ට වරම් ලද්දා වූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ධර්ම පැවතීමෙන් ශුද්ධවන්තයා යන නම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • සුගුන මහිමයෙන් හා රූබරකමින් සුරදූතයා යන නම ලද්දා වූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ලෞකික ශිල්ප ශාස්ත්‍ර හැරපියා ධර්මෝද්ග්‍රහණය කළාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • මවුපියන් අත්හැර ශුද්ධ වූ බෙනදික්කු මුනිඳුන්ගේ තපස් පංක්තියට ඇතුළත් වුණාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • තපස් පංක්තියෙන් හරවා ගැනීමට මවුපියන් නෑදෑ මිත්‍ර යනාදින් විසින් කළ වෑයම් සිහිනොකර ස්වාමිදරුවන්ගේ දයාබරකම් සිහිකරන පිණිස එහිම විසුවාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඒ තපස් පංක්තියේ දෙවෙනි පිතෘවන ශුද්ධවූ සිල්වෙස්ත්‍රි මුනිඳුන්ගේ ආත්මික පුත්‍ර වුණාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • තපස් පංක්තියේ ශ්‍රේෂ්ඨවරුන්ට යටහත් වෙමින්ද සියල්ලන්ට බොහෝ සේ දයා කරමින්ද පසු වුණා වූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • එම පංක්තියේ තාපසවරු විස්ම පත්වෙන ප්‍රමාණයට බැහැපත්කම, දිළිඳුකම, පිරිසිදුකම යනාදි සුකෘතයන් රක්ෂා කළාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • නිර්දේෂ කෙනෙක්ව සිටියදීත් ප්‍රාච්චිත්තයෙන් ශරීරයට අච්චුකර උන්නාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ලේ වෑහෙන තෙක් කසවලින් තළාගෙන කටු යදම්වලින් ඉන තදකර බැඳ ශරීරය මට්ටු කළා වූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • තරුණ වයස් වූ තේවාචාරි කෙනෙකු නමුත් සුකෘත ජීවිතයෙහි දේව ශ්‍රී වාක් පැහැදීමෙන් වැඩි වයස් කෙනෙකු මෙන් ප්‍රකාශ වුණාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • දේව විශ්වාස වෘද්ධි බොහෝ දේව ප්‍රසාද ලබා මහත් ප්‍රාතිහාර්යය පාන්නට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • මවන ලද දේවල් ධ්‍යාන ක්‍රමයෙන් බලමින් මැවුම්කාරයාණන් වහන්සේගේ සර්වවල්ලභ ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ දුක්ෂයත්, මරණයත් ගැන ධ්‍යාන කරමින් සෝක නමැති ගින්නෙන් දැවුණාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • කන්‍යා මෑණියන්ගේ වික්ෂෝප සුරදූතයකු විසින් ඔබට ප්‍රකාශ කළ සඳ දැරිය නොහැකි ශෝකයෙන් භරිත වුණාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ස්වාමිදරුවන්ගේ වේදනා සහිත මරණයෙන් දේව මෑණියන් තුළ හටගත් මහා දුක්ෂය ධ්‍යාන කරමින් ඒ ගැන හඬ හඬා සුසුම් ලමින් සිටියවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ලෝකය නිදහස් කළ දේව කරුණා මහිමය ධ්‍යාන කර සිටින කල කන්‍යා මෑණියන් විසින් දිව්‍ය බිළිඳා ඔබට පෙන්වීමට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ධර්ම ඥානයෙන් නිපුණ හෙයින් පූජා ප්‍රසාදිවෙන්ට පෙර සුවිශේෂය දේශනා කිරීමට ශුද්ධවූ සිල්වේස්ත්‍රි මුනිඳුන්ගෙන්
  • අවසර ලැබුවාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • අනෙක් ගම්වල ඇවිදිමින් දේශනාකර ගණන් නැති පව්කාරයන් ස්වර්ගිය මාර්ගයට පැමිණෙව්වා වූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ජීව අජීවක අර්ථයන් ඔබ වහන්සේට කීකරු වෙන්ට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • දුෂ්ට වල් සිවුපාවුන්ගෙන් මනුෂ්‍යයන් ගළවාගන්ට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • වනාන්තර කන්දක වැඩ කර සිටි වැඩ කරුවන් කළ නින්දා ඉවසා අද්භූත ලෙස ඔවුන්ගේ සාගිනි නිවා ඔවුන් දේව භය පක්ෂයට හැරෙව්වා වූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • මොයිසෙස් මුනිමෙන් ඔබගේ සැරයටිය ගල්කන්දේ ඇන වතුර උල්පත මතුකරන්ට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • මෙම සැරයටිය ගඟ මැද සිටුව වතුර බෙදා මාර්ගය තනන්නට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඔබ විසින් මතු කළ අද්භූත උල්පතේ වතුර අද වෙනතෙක් රෝගීන් සුව කිරීම පිණිස ඖෂධයක් කිරීමට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඔබගේ වස්ත්‍රයත්, සැරයටියත් උතුම් කප්පරයක්කොට යාත්‍රාකර එතෙරවෙන්ට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ජලය මුද්‍රිත රසයට හරවන්ට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ආශ්චර්ය ක්‍රියාවල් නිසා මනුෂ්‍යයන් කළ ස්තූතියට භයවී ඉන් වැළකී සිටියාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • මහෝත්තම ක්‍රිස්තුතුමන්ගේ මංගල්‍ය දිනේදී දේව දයාව ගැන මහත් වූ අධික භක්ති වේගයෙන් දේශනාකර බොහෝ අයවල් දේව ප්‍රේමයට හැරෙව්වා වූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඒ උතුම් දේශනාවට ගත් වෙහෙසයෙන් හෘදය පිපිරී අධික වේදනාවෙන් පිඩිත වී උන්නාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • එවැනි රෝගය උග්‍රව අන්තිම දේව ප්‍රසාද නිධානය භක්තියෙන් ලබන්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඔබගේ මරණ වේලෙහි පරලෝක රාජේශ්වරි ඔබට මධ්‍යස්ථකොට සිටින්න වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඔබගේ මරණවේලෙහි දෙවි ස්වාමිදරුවන්ගේ මොක් ප්‍රභා අලංකාරය දර්ශනය කරන්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඇසල මස විසිහය වෙනිදා භූවිලෝක වාසය අත්හැර පරලෝක භාග්‍ය අත්කරගත්තාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඔබගේ මරණ දිනෙහි සිය නගර වාසීන් විසින් කළ යාච්ඤා පිළිගෙන දෙවියන් වෙත යාච්ඤා කර ඔවුන්ගේ ඉල්ලීම් ඉෂ්ටකර දෙමැයි වදාළා වූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඒ උතුම් පොරොන්දුව ලෙස මේ වන තුරු සෙන්තිනු නගර වැසියන් සියලු උපද්‍රාවලින් ගළවාගන්ට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඔබ උකුත් වූ සැනේදී දේවස්ථානයේ මිණිසන් දීමෙන් මිහිරි ශබ්ද පැවැත්මට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඔබ උකුත් වූ සැනේදී යක්ෂභූතයන් බියගෙන දුවන්ටත් සකල විධ අන්සින රෝගීන් ආරෝග්‍ය ලැබ ඔබට ස්තූති ප්‍රශංසා කරන්ට එන්ටත් වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • සියලු මෝක්ෂවාසීන් සමග අනන්ත ආන්ද පෙළ හරින් සදාකල්හි දෙවියන්ට ස්තූතිකර සිටින්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඔබගේ ශරීර සුවද විහිඳී අටදිනක් දේවස්ථානයේ මහත් ගෞරවමානයෙන් තබන්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • ඔබගේ ශරීරය ඉතාලි රාජ්‍යයේ සෙන්තීහු නම් නුවර ස්නාවක ජුවාම් මුනිදුන්ගේ දේව මන්දිරයේ මහත් වන්දනා මානයෙන් භූමදාන කරන්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • තැන්පත් කළ හසිය වසරකට පසු එතනින් රැගෙන එම නුවර සාන්ත මරිය දෙල්පියානු කියන දේව මන්දිරයේ නැවතත් බොහෝ මංගල්‍ය පෙරහරින් භූමිදාන කරන්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි
  • ඔබට දේව පීඨකවල ගෞරව කිරීමට විගස නියෝග කරන්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි
  • සැබෑ වූ විශ්වාසයෙන් ඔබගේ පිහිට ඉල්ලන්නන්ට ආදරය කොට ප්‍රාතිහාර්ය කර ස්තූති ලැබීමට වාසනා ලද්දාවූ
  • භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි
  • ඔබගේ නාමය උච්චාරණය කළ සඳ, යක්ෂයන් සහ යක්ෂ සෝදිසි වලින් දුරුවෙන්ට වරම් ලද්දාවූ භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයෙනි

  • දේව දයාබරකමෙහි අප උදෙසා මධ්‍යස්ථව වැඩ සිටින්නා වූ ඔබ

  • අපේ සියලු ඉල්ලුම්වලට ඇහුම්කන් දෙන්නාවූ ඔබ

  • අපේ ප්‍රාර්ථනා දෙවියන්ට ඔප්පුකර සිටින්නා වූ ඔබ

  • අපේ සියලු අන්තරා අපහසුවලෙහි අපට පිහිට වන්නාවූ ඔබ

  • අප විසින් ඔබගේ ධර්ම මහිමය අනුචාර කරනු පිණිස

  • අප විසින් දෙවියන්‍ට නිත්‍ය දයාවෙන් කීකරුවෙනු පිණිස

  • අප විසින් ස්වර්ගිය මාර්ගය අත් නොහැර පවතින පිණිස

  • අප විසින් ස්වාමිදරුවන්ට ප්‍රිය ලෙස දවස් හරිනු පිණිස

  • මරණින් පසු අප විසින් දිව්‍ය රාජ්‍යයෙහි හිමිකාරයන් වෙනු පිණිස

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අපි හේතුවන්ත වෙන ලෙස‍
  • උත් - භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ අනන්ත දයාබර දෙවියනි ඔබගේ සර්වවල්ලභ ප්‍රේමයේ මහිමතාව ප්‍රකාශ කරනු සඳහා ඔබගේ ප්‍රිය දාසයා වන භාග්‍යවන්ත ඌගෝ මුනින්ද්‍රයාණන් සියලු ධර්මයෙන් සරසා එතුමාට ප්‍රාතිහාර්ය වරම් දෙවා වදාරා එතුමා ලවා අනේක දෙන බොහෝ උපද්‍රවවලින් ගළවා ධර්මයෙහි හසුරුවා දිව්‍ය රාජ්‍යයට පැමිණෙව් සේක. එබැවින් එම මුනින්ද්‍රයාගේ මධ්‍යස්ථ යාච්ඤා පිළිගෙන අප සකල උපද්‍රවයෙන් ගළවා ආරක්ෂා කර අන්තිමේදී අප සියලු දෙනාටම ස්වර්ගිය දර්ශනය දුන මැනව. මේ කීදේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසා ම ලැබේවා - ආමෙන් ජේසු